Wednesday, November 30, 2016

ගම්පහ පාසලක විදුහල්පතිවරයකුට විරුද්ධව පැමිණිල්ලක්

ම්පහ ප්‍රසිද්ධ බාලක පාසලක විදුහල්පතිවරයකුගේ වැරදි ඇතුළත් ලිපියක්  “බණ්ඩාරනායකය සුරැකීමේ සංවිධානය“ යැයි කියන සංවිධානයක් විසින් අධ්‍යාපන අමාත්‍යංශයට යොමුකර ඇත.ඒ පිළිබඳව නිසි පරීක්ෂණයක් සිදුකරන ලෙස එම සංවිධානය ඉල්ලයි.


බණ්ඩාරනායකය සුරැකීමේ එකමුතුව,
ගම්පහ
2016-11-22

අකිල විරාජ් කාරියවසම් මැතිතුමා,
ගරු අධ්‍යාපන අමාත්‍යතුමා,
අධ්‍යාපන අමාත්‍යංශය,
ඉසුරුපාය - බත්තරමුල්ල.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ විදුහල්පතිගේ ක්‍රියාකලාපය සම්බන්ධවයි

1.    ගම්පහ බණ්ඩාරනායක මහා විද්‍යාලයය අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන පාසලකි.දිවංගත අගමැති එස්.ඩඩ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මැතිතුමාගේ මුලිකත්වයෙන් ආරම්භ වූ අප විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුහු ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල වැදගත් තනතුරු දරති. එවන් ප්‍රෞඩ ඉතිහාසයක් ඇති මෙම විද්‍යාලයයේ වර්තමානයේ වාර්තා වෙන්නේ ඉතා ශෝචනීය සිදුවීම් බව ඉතා කනගාටුවෙන් යුතුව දැනුම් දෙමු.
2.    වර්තමානයේ එම විද්‍යාලයේ විදුහල්පති ලෙස කටයුතු කරන්නේ ලාල් දිසානායක මහතාය.2012 වර්ෂයේ මුල අධ්‍යාපන පරිපාලන 3 වැනි පංතියේ නිලධාරියකු ලෙස අප විද්‍යාලයේ වැඩ භාරගත් ලාල් දිසානායක මහතා එදා සිටම විද්‍යාලයේ බාහිර ක්‍රියාකාරකම් සඳහා දැක්වුයේ කුඩම්මාගේ සැලකිලිය.
3.    ජනාධිපති පදක්කම් පවා දිනු පරිසර නියමු ඛන්ඩය මෑතකදී අඩුම තරමේ ස්වර්ණ පදක්කමක්වත් දිනා නැත.
4.    හර්මන්ලෝස් කුසලානය පවා දිනු පාසල් ශිෂ්‍යභට ඛන්ඩයට ද මෙවර ලැබුණේ ශ්‍රී ලංකාවෙන්ම 1021 තැනය.එම තරඟාවලියට සහභාගී වූ ඛන්ඩ සංඛයාව 1200කි.
5.    2010,2011,2012,2014 වසර වල පැවති තරඟාවලි වලදී පළමු ස්ථාන තුන තුළ රැඳි පොලිස් , නාවික හා ගුවන් යන ශිෂ්‍යභට ඛන්ඩ මේ වන විට පාසලේ ක්‍රියාත්මක වන්නේද නැත.
6.    පෙර උදාහරණ වල මෙන්ම බාහිර අංශ දිනෙන් දින පරාජිත තත්ත්වයට පත් වූවා මෙන්ම විද්‍යාලයේ අධ්‍යාපනයද දැඩි පරිහාණියකට ලක්ව තිබේ.මෙම විදුහල්පතිවරයා පාසලට පැමීණීමට පෙර හා පැමිණි පළමු අවුරුද්දේ ප්‍රතිඵල හා සංසන්දනය කරද්දී විශ්ව විද්‍යාල ප්‍රවේශය අඩු වී අති අතර දිස්ත්‍රික් හා සමස්ත ලංකා මට්ටමින් උසස් පෙළ සිසුන්ට මීට පෙර හිමිවූ ස්ථාන ද අහිමි වී ගොස් තිබේ.
7.    මෙම විදුහල්පතිවරයා මෙලෙස පාසලේ ජයග්‍රහණ උදෙසා කටයුතු නොකළද වැටුප් දෙකක් ලබා ගනී. රජයෙන් ගෙවන වැටුපට අමතරව ඔහු අප විද්‍යාලයයේ ආදී ශිෂ්‍ය සංගමයෙන්ද මාසිකව රුපියල් 50000ක දීමනාවක් ද ලබා ගත්තේය. එම මුදල් විදුහල්පතිවරයාට ලබා දුන්නේ ප්‍රවාහන දීමනා යන ශිර්ෂය යටතේ විද්‍යාලයේ උප විදුහල්පතිවරයකු වන පි.ජී උබයවර්ධන මහතාගේ නමටය. විද්‍යාලීය ප්‍රවාහන කටයුතු සඳහා දීමනා ලෙස ආදි ශිෂ්‍ය සංගමයෙන් යම් මුදලක් ලබා දුනහොත් අධ්‍යාපන අමාත්‍යංශ චක්‍රලේඛානූකුලව එය පාසල් සංවර්ධන සමිති ගිණුමට බැර කළ යුතුය. නමුත් එම කිසිදු මුදලක් සංවර්ධන සමිතියට බැර කර නැති අතර ඒවා කෙලින්ම විදුහලපතිවරයා ලබාගෙන ඇත.මේ බව සනාථ කිරීමට ආදී ශිෂ්‍ය සංගමයේ මුදල් ගෙවීමේ වවුචර කිහිපයක් ඇමුණුම් ලෙස ඉදිරිපත් කරමු.(ඇමුණුම් 01)
8.    මෙම විද්‍යාලයේ විදුහලපතිවරයාගේ උපදෙස් පරිදි වරින් වර සිසුන්ගෙන් මුදල් අය කළද ඒ ගැන අමාත්‍යංශයට පැමිණිලි කළද මේ වනතෙක් පියවරක් ගෙන නැත.2015.12.14 දිනට ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ පිරිපාලන ලේකම්ගේ අත්සනින් යුතු ලිපියක් සිසුන්ට යොමු කර තිබු අතර ඉන් සඳහන් කර තිබුණේ පිහුණුම් තටාක ව්‍යාපෘතියක් සඳහා දායකත්වය ලබා දෙන ලෙසයි.එම මුදල් ජාතික ඉතිරිකිරීම් බැංකුවේ 100370438090 ගිණූමට බැර කර  කර අදාළ ලදුපත් ආදී ශිෂ්‍ය සංගමයට ලබාදෙන ලෙස එම ලිපියෙන් දැනුම් දී ඇත.2008/41 අධ්‍යාපන අමාත්‍යංශ චක්‍රල්ඛනයට අනුව ආදි ශිෂ්‍යන්ට වර්තමාන සිසුන්ගෙන් මුදල් අය කළ නොහැකිය. ආදි ශීෂ්‍ය සංගමය සිසුන්ට යැවූ ලිපිය සහ එලෙස මුදල් අය කිරීම ගැන ලංකා ගුරු සංගමය 2016.01.22 දින අමාත්‍යංශයට යැවූ ලිපිය සාක්කි ලෙස මේ සමග ඉදිරිපත් කරමු. (ඇමුණුම 02 සහ 03)
9.    ලාල් දිසානායක විදුහල්පතිවරයාට විරුද්ධව 2014 මාර්තු 03 වැනිදා දැවැන්ත සිසු උද්ඝෝෂණයක් පැවති අතර එම උද්ඝෝෂණයේ දී විද්‍යාලයේ සීසීටීවී කැමරා වලට හානි කළ බවට සිසුන් පිරිසකට චෝදනා කළේය. නමුත් එ ගැන සාධාරණ පරීක්ෂණයක් පැවැත්වූයේ නැත. එම අවස්ථාවේ ඔහුට විරුද්ධව පැමිණිලි කළ අයට පළිගැනීමක් ලෙස විභාග ප්‍රවේශය ලබා දීමට රුපියල් 10000ක් බැගින් ආදී ශිෂ්‍ය සංගම් ගිණුමට බැර කරන ලෙස විදුහල්පතිවරයා එම සිසුන්ට දැනුම් දී ඇත. මෙයද අමාත්‍යංශ චක්‍රල්ඛ  උල්ලංගනය කිරීමකි. ඒ ගැන සනාථ කිරීමට සිසුන්     මුදල් තැන්පත් කළ ලදුපත් කිහිපයක් මේ සමග අමුණා ඇත.(ඇමුණුම් 04)
10.විද්‍යාලයේ කීර්තිමත්ම ආදි ශිෂ්‍යයකු වන දුමින්ද හපුආරච්චි මහතා (පසුගිය රජය සමයේ පොලිසියෙන් කළ පහරදීමකට එරෙහිව තනියම නඩු කියා ජයගත් දුම්රිය මගියා) පාසල් සංවර්ධන සමිතියට සහභාගී වූ අවස්ථාවේ විදුහල්පතිවරයා ඔහුට බැණ තර්ජනය කර තිබු අතර පාසල් සංවර්ධන සමිති කාරක සභාවට ඇතුලු වීමට තිබු අවස්තාවද අවහිර කළේය. ඒ ගැන අධ්‍යාපන අමාත්‍යංශයට පැමිණිලි කළද මේ වන තෙක් පියවරක් ගෙන නැත. විද්‍යාලයේ මූල්‍ය අවභාවිතය ගැන වැදගත් තොරතුරු රාශියක් ඔහුගේ පැමිණිල්ලේ අන්තර්ගත විය. හපුආරච්චි මහතාගේ පැමිණිල්ලේ පිටපතක් මේ සමග ඉදිරිපත් කරමු. (ඇමුණුම් 05)
11.2014 මාර්තු 03 වැනිදා විදුහල්පතිවරයාට එරෙහිව පැවති විරෝධතාවයේදී විදුහල්පතිගේ ගැටළු ගැන ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමග සාකච්ඡා කළ රවිදු විරාජ් රණවක සිසුවාට උසස් පෙළ ලිවිමට ඇති අවස්ථාව අහිමි කළ අතර ඔහු ඒ වෙනුවෙන් මානව හිමිකම් කොමිසමට කළ පැමිණිල්ල විදුහල්පතිගේ මැදිහත්වීමෙන් පක්ෂපාතීව විමර්ශනය කරන ලදී. එම සිසුවා තම අසාධාරණය සම්බන්ධයෙන් ශ්‍රි ලංකා තරුණ ජනමාධ්‍යවේදී සංගමයටත්,   ගුරු සංගම්වලටත් කළ පැමිණිල්ල සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසට කළ අභියාචනාව අදාළ සියලු ලේඛන සමග ඉදිරිපත් කරමු. (ඇමුණුම් 06)
12.විද්‍යාලයේ ශීෂ්‍යභට ඛන්ඩ භාර ගුරුවරයා (ආදි සිසුවෙකි)  කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව දේශපාලන සම්බන්ධතා භාවිත කර ස්ථාන මාරුකළ අතර ඊට එරෙහිව එම ගුරුවරයා කළ අභියානාව මේ වන විට විභාග වෙමින් පවති.එම ලියකියවිලි ද මේ සමග ඉදිරිපත් කරමු.(ඇමුණුම් 07)
13.මෙම විද්‍යාලයේ සේවය කළ රෝහණ ජයසේකර (ආදි සිසුවෙකි) කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව  ස්ථාන මාරුකළ අතර ඔහුට යළි සාධාරණය ඉටු කරන ලෙස ඔම්බුස්මන් දුන් නිර්දේශ මේ වන තෙක් ක්‍රියාත්මක කර නැත.ඊට අදාළ ලියකියවිලි මේ සමග ඉදිරිපත් කරමු. (ඇමුණුම් 08)
14.මෙවැනි චෝදනා රාශියක් මෙම විදුහල්පතිවරයාට එල්ල වී ඇති අතර ඔහුගෙන් එල්ල වන පීඩනය ඉවසා දරාගත නොහැකිව සිසුහු යළි උද්ඝෝෂණය කිරිමට පෙළ ගැසි සිටිති. විදුහල්පතිට එරෙහිව උද්ඝෝෂණ කිරිමට පෙර සාධාරණ විමර්ශනයක් පවත්වා මෙම විදුහල්පතිවරයා ඉවත් කර වෙනත් දක්ෂ,තරුණ,හොඳ විදුහල්පතිවරයකු අපේ පාසලට ලබා දෙන ලෙස ඔබතුමාගෙන් ඉතා ගෞවරයෙන් ඉල්ලා සිටිමු
15.එදා සිටම සාධාරණය වෙනුවෙන් කතා කරන ඔබතුමා අප විද්‍යාලයේ ගැටළුව ගැන දැඩි අවධානයක් යොමු කරනු ඇතැයි විශ්වාස කරමු.


බණ්ඩාරනායකය සුරැකීමේ එකමුතුව

පිටපත්
ලේකම්, අධ්‍යාපන අමාත්‍යංශය.
සභාපති, රාජ්‍ය සේවා කොමිෂන් සභාව.
ජෝසප් ස්ටාලින් මහතා, ලංකා ගුරු සංගමය.

සියලුම මාධ්‍ය ආයතන 

No comments: