Monday, September 19, 2016

ප්‍රභාකරන් ජිවතුන් අතරද? නැත්ද?

වසර 30ක් තිස්සේ රට තුල තිබු යුද්ධය නම් ශාපලත් ගින්න නිවා දැමුවද ඒ ගින්නෙන් ඇති වූ අඟුරු කැබලි අදත් අළු අතර සැඟවී ඇති බව බොහෝ අය විශ්වාස නොකරන සත්‍යයකි.තවමත් උතුරේ ද දකුණේද වෙනසක් නොමැතිව වෛරය නම් අඟුරු කැබලි සැඟවී තිබේ.සැඩ සුළඟක් හැමූ විගසින් ඒවා ගිනි පුපුරු පිටකරන ආකාරය දැකිය හැකිය..යුද්ධය නම් ගින්න නිවා  දැමීමට හමුදාවට හැකි වුවද එහි අඟුරු කැබලි නිවා දැමීමට එවර ආණ්ඩුවට ද මෙවර ආණ්ඩුවටද නොහැකි විය.

මාධ්‍යවේදීන්ට සංහිඳියාව ඇති කිරීමට වගකීමක් ඇති බව හුදෙක් නොරහසකි.නමුත් ජාතිවාදය ඇතිවෙන අයුරින් ක්‍රියා කිරීමට සමහර සිංහල මාධ්‍යවේදීන් ද දෙමළ මාධ්‍යවේදීන් ද ක්‍රියා කරන බව දක්නට ලැබෙයි.දෙමළ ජනයාගේ සිත් වල සිංහලයාට එරෙහි වෛරයක්ද සිංහල ජනයාගේ සිත් වල දෙමළ ජනතාවට එරෙහිව වෛරයක්ද ඇති වෙන අකාරයෙන් පුවත් වාර්තා කරන මාධ්‍යවේදීන් පිළිබඳ ඇත්තේ කණස්සල්ලකි.එමෙන්ම ජාතිවාදී නොවන පුවතක් වාර්තා කිරීමේදී පවා වෛරිසහගත ලෙස වාර්තා කිරීමෙන් ද එවන් වෛරයක් ඇති වීම වැළක්විය නොහැක.

යුද්ධයේදී තම දෙමපියන් සහෝදරයන් අහිමි වූ දෙමළ අය තවමත් වෛර කරන්නේ එදිරිවාදී හමුදාවට මිස ශාපලත් යුද්ධයට නොවේ.සමහර දෙමළ පිරිස් වෛර කරන්නේ ප්‍රභාකරන්ට නොව යුද්ධය නිමා කළ හමුදාවට සහ දේශපාලන නායකයින්ටය.සමහර සිංහල අයද වෛර කරන්නේ බහුතර දෙමළ ජනතාවට මිසක් එල්.ටි.ටි ත්‍රස්තයන්ට නොවේ.එය ශි ලංකාවේ අවාසනාව විය යුතුය.සමහර අය යුද්ධයට හේතුව වත් නොදන්නවා විය හැකිය.


යුද්ධයට හේතු වුයේ දෙමළ බෙදුම්වාදය පමණක් නොව සිංහල ජාතිවාදය ද හේතු විය.එවකට සිටි පාලකයන්ගේ ද වැරදි බල පෑවේය.යුද්ධය හමුදාව සහ එල්.ටි.ටි ත්‍රස්තයන් අතර සිදු වූ දෙයක් මිස සිංහල දෙමළ ජනතාව අතර ඇති වූ යුද්ධයක් නොවන බව වටහා ගැනීමට බොහෝ අය අසමත් වීම මෙයට එක හේතුවකි.හමුදාවේ දෙමළ සෙබළුන් සිටියේ නැතිද?එල්.ටි.ටි ත්‍රස්තයන්ට ඔත්තු සැපයීමේ සහ උපකාර කල සිංහලුන් නැතිද?නොදත් අය සොයා බැලිය යුතු ප්‍රශ්න දෙකකි.යුද්ධය පැවතුනේ සිහළුන් දෙමළුන්ට විරුද්ධවත් දෙමළුන් සිහළුන්ට විරුද්ධවත් නොවේ.සිදුවුයේ බෙදුම්වාදී ත්‍රස්ත කල්ලියක බලපෑම මත එක් දෙමළ පිරිසක් පමණක් යුද්ධ කිරීමත් එම යුද්ධය මැඩපවත්වා සාමය ඇති කිරීමට හමුදාව ක්‍රියා කිරීමත් පමණකි.එම වෛරී සහගත යුද්ධය නිමා කිරීමට සහය වුවන් අතර දෙමළ පිරිස් ද සිටින බව මතකයේ තබා ගත යුතුය.අද බොහෝ අය එම යුද්ධය ඉතාමත් වැරදි අයුරින් නිර්වචනය කිරීමෙන් සිදුවන්නේ තවත් යුද්ධයකට පෙරවදනක් සටහන් කිරීමක් පමණි.
            මාධ්‍යවේදීන් වශයෙන් කළ යුත්තේ යුද්ධයේ අළු යට සැඟවී ඇති අඟුරු කැබලි නිමා දැමීමට ක්‍රියා කිරීම මිස ඒ අඟුරු කැබලි නැවත ගිනි තැබීම නොවන්නේය.නමුත් අද සිදුවන්නේ උතුරේ කුඩා සිද්ධියකදී පවා පාර්ශව දෙකෙහිම මාධ්‍යවේදීන් ජාතිවාදය නම් පෑනෙන් එම සිදුවීම් වාර්තා කිරීම ය.ඉන් සිදුවන්නේ උතුරේ තත්වය සියැසින් නොදකින යුද්ධයෙන් බැට කෑ දකුණේ ජනතාව කුපිත වීමත් යුද්ධයේ අඳුරු සෙවනැලි සිතෙහි තබාගෙන ජිවත් වෙන දෙමළ ජනයාගේ සිත් වෛරයෙන් උදම් වීමත් පමණි.යාපනය විශ්වවිද්‍යාලයෙ ඇති වූ ගැටුමේදී එය මනාව පිළිඹිමු විය.සමහර සිංහල මාධ්‍ය එය ජාතිවාදී ස්වරුපයකට වාර්තා කිරීමට තතු සෙවූ අතර ප්‍රධාන දෙමළ මාධ්‍ය තත්ත්වය විකෘති කර ලොවට පෙන්නුවේය.සිසුන් අතර සිදුවූ ගැටුමට හමුදාව පටලවා ගත්තේ කුමක් අරඹයා ද යන්න අපි නොදන්නෙමු.සමහරක් දෙමළ මාධ්‍ය වල “හමුදාවේ සහය ඇතුව සිංහල සිසුහු දෙමළ සිසුන්ට පහර දෙති”යනුවෙන් සදහන් වුයෙන් සිංහල ජනයා ද දෙමළ ජනයාද කුපිත විය.

වාර්තාකරණයේදී වචනයක් එහා මෙහා වීමෙන් සිදුවන වෙනස වටහා ගැනීමට නොහැකි මාධ්‍යවේදීන් සිටීම ශ්‍රී ලංකාවේ අවාසනාවකි.එසේ නොමැතිනම් උවමනාවෙන් ම එය අමතක කර දමා ඇත.යාපනයේ සිදුවන සිදුවීම් වලදී යාපනය පැත්ත පළාතකට නොහොස් කොළඹ සිට ලිපි ලිවීමට බොහෝ අය දක්ෂයෝ වෙති.ශ්‍රී ලංකාවේ යුද්ධය ගැන යුරෝපයේ සිට ලිපි ලිවීම සහ මෙය අතරේ කිසිදු වෙනසක් නැත.මාධ්‍යවේදීන් වශයෙන් කළ යුත්තේ එය නොවේ.ගැටුම උග්‍ර කිරීමට වාර්තාකරණය භාවිත කිරීම නොව ගැටුම නිරාකරණය කිරීම සදහා පැන මෙහෙයවීම සිදු කල යුත්තේය.නැවත එවන් දෙයක් නොවීමට ක්‍රියා කළ යුතුය.
තවද උතුරේ සිංහල බෞද්ධ සිද්ධස්ථාන ඉදිකිරිම ගැන වාර්තා කරන උතුරේ මාධ්‍යවේදීන් ද සැලකිලිමත් විය යුතුය.සංහිඳියාව යනු කිසියම් ආගමක සිද්ධස්ථානයක් ඉදිකිරීමට විරුද්ධ වීමනම් ඒ සංහිඳියාව රටට අවශ්‍ය ද නැතිද යන්න දෙපාරක් සිතා බැලිය යුතුය.සංහිඳියාව ඇත්තේ නම් ඕනෑම ආගමක ඕනෑම අයෙකුට ලංකාවේ ඕනෑම තැනක සිට තම ආගම ඇදහීමට අයිතියක් නිදහසක් තිබිය යුතුය.එයට උතුර දකුණ කියා වෙනසක් තිබිය යුතු නැත.උතුරේ අය බෞද්ධ ප්‍රතිමා සෑදීමට විරුද්ධ වනවා නම් රජයේ සංහිඳියා වැඩපිළිවෙල පටන් ගත යුත්තේ දකුණින් නොව උතුරෙනි.දකුණේ ජාතිවාදය දේශපාලනය නිසා හටගනී.ජාත්‍යාලය සහ ජාතිවාදය පටලවා නොගත යුතුය.

තම ආගම ජාතිය ආරක්ෂා කර ගත යුතුය.නමුත් ඒ සදහා අන් ආගම් සහ අන් ජාතින් විනාශ නොකළ යුතුය.බෞද්ධයන් එසේ කරනවානම් ඔවුන් අදහන ධර්මය බුද්ධාගම නොවිය යුතුය.මන්ද බුදු රජාණන් වහන්සේ ද අන් ආගම් වලට ගරු කළ කෙනෙකි.එමෙන්ම බුදුරජාණන් වහන්සේ අන් ආගම් වලට ගරු කරන ලෙස ශ්‍රාවකයින්ට ද දේශනා කළ සේක.ඕනෑම ආගමක් රැකගැනීමට අන් ආගමක් විනාශ කිරීම බුදුදහම යැයි නොසිතමි.තවද බුදු පිළිම හෝ බෞද්ධ සිද්ධස්ථාන ඉදි කිරීමෙන් සංහිඳියාව නැති වීමට හේතුවක් නැත්තේය.දකුණේ කෝවිල් ඉදිවෙන බවත් ඕනෑ තරම් කෝවිල් දකුණේ ඇති බවත් අපි දන්නෙමු.ඒවාට විරුද්ධ වන්නෝ ඇත්නම් ඔවුහු දේශපාලන මිත්‍යාවේ නියැලුණු අය වෙති.දකුණේ ද ඒ අයුරින් කිසියම් ආගමක සිද්ධස්ථානයකට විරුද්ධ වේනම් එය වැරදි දෙයකි. 

දකුණේ වුවද උතුරේ වුවද සියලු ජාතින් සහෝදරයන් මෙන් සිටිය යුතුය.ආගම පාදක කොටගෙන එකිනෙකා කා කොටා ගන්නවානම් ප්‍රභාකරන් මිය ගියාට කිසිදු වෙනසක් ඇති වී ඇතැයි සිතන්නට බැරිය.පන්සල් පල්ලි කෝවිල් කියා මායිම් වලට සිමා වී සිටිය යුතු නැත.අන් අයට උදව් කරමින් තමන්ද දියුණු විය යුතුය.අන් අය පාගා තමන් දියුණු වීමෙන් සිදුවන්නේ තාවකාලික දියුණුවක් පමණි.මන්ද යම් දිනෙක පෑගී සිටින අය අනිවාරෙන්ම පාගා සිටින්නාට  වඩා ශක්තිමත්ව නැගී සිටිනු ඇත.
            කළ යුත්තේ සහෝදරත්වයෙන් හිඳ එක රටක් ලෙස ලොව ජයගැනීම ය.එයට සිංහල දෙමල මුස්ලිම් බර්ගර් බේදයක් තිබිය නොහැක.එසේ බේද තිබේනම් ඉදිරියටත් යුද්ධ ඇතිවීම වැළක්විය නොහැක.එසේවිනම් මේ අපි ගෙවන්නේ සාම ගිවිසුමකින් ලත් යුධ විරාමයක් පමණක් වනු ඇත.එනිසා ප්‍රභාකරන් ජිවතුන් අතර ඇතැයි නැතැයි කියා වෙනසක් නැත.ප්‍රභාකරන් ජිවතුන් අතරය කියා සිතෙන්නේ එම නිසාය.ප්‍රභාකරන්ගේ ජාතිවාදී යුධමය සිතුවිලි නැතිවී යන්නේ අප රට තුළ දෙමල සිංහල මුස්ලිම් සහෝදරත්වය ස්ථිර උන දාකය.ප්‍රභාකරන් මැරූ තරමින් එල්,ටි,ටි ත්‍රස්තවාදය අවසන් වුවත් අප රටේ ජාතිවාදය අහවර වන්නේ නැත.සංහිඳියාව මැනවින් තහවුරු වූ දාක ජාතිවාදය නම් ප්‍රභාකරන් සදහටම මිය යනු ඇත.

Read in EnglishClick Here)





No comments: